Tuesday, September 01, 2026

ඉම්රාන් ඛාන්ගේ පුතුන්ගේ සම්මුඛ සාකච්ඡාව විකාශය කිරීම ගැන PCB, Sky Sports වෙත පැමිණිලි කරයි

ඉම්රාන් ඛාන්ගේ පුතුන්ගේ සම්මුඛ සාකච්ඡාව විකාශය කිරීම ගැන PCB, Sky Sports වෙත පැමිණිලි කරයි
Advertisement
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍යවරයකු මෙන්ම හිටපු ක්‍රිකට් නායකයකු වන ඉම්රාන් ඛාන්ගේ පුතුන් දෙදෙනා සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවක් විකාශය කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB), Sky Sports වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එංගලන්තය සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ දිවා ආහාර විවේකය අතරතුර මෙම සම්මුඛ සාකච්ඡාව Sky Sports ඔස්සේ විකාශය කර ඇත.

හිටපු එංගලන්ත නායකයකු වන සහ වර්තමානයේ Sky Sports විස්තර විචාරකයකු ලෙස කටයුතු කරන මයික් ඇතර්ටන් විසින් ඉම්රාන් ඛාන්ගේ පුතුන් වන සුලෙයිමාන් සහ කාසිම් ඛාන් සමඟ මෙම සම්මුඛ සාකච්ඡාව සිදු කර තිබේ.

එහිදී ඔවුන් වසර තුනකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටින සිය පියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැඩි කනස්සල්ල පළ කර ඇති අතර, ඔහුගේ ජීවිතය පිළිබඳවද බියක් පවතින බව ප්‍රකාශ කර තිබේ.

මෙම සම්මුඛ සාකච්ඡාව විකාශය කළහොත් දිවා ආහාර විවේකයෙන් පසුව පාකිස්තාන කණ්ඩායම යළි පිටියට නොපැමිණීමේ හැකියාවක් පවා PCB විසින් සලකා බලා තිබූ බව වාර්තා වේ.

PCB විසින් දිවා ආහාර විවේකයට පෙර Sky Sports වෙත මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, සම්මුඛ සාකච්ඡාව විකාශය කළහොත් තම කණ්ඩායම දෙවැනි සැසිය සඳහා පිටියට නොඑන බව දැනුම් දී තිබූ බවද සඳහන් වේ.

ඒ අනුව Sky Sports විසින් සම්මුඛ සාකච්ඡාව විකාශය කිරීම තාවකාලිකව ප්‍රමාද කළද, අවසානයේදී මිනිත්තු 18ක එම සම්මුඛ සාකච්ඡාව විකාශය කර තිබේ. කෙසේ වෙතත්, එය අවසන් වන විට පාකිස්තාන ක්‍රීඩකයන් පස්වරු 2.40ට යළි තරගයට පිවිසීමට සූදානම් වෙමින් සිට ඇත.

බදාදා උදෑසන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ Writers' Room හිදී ඇතර්ටන් විසින් මෙම සම්මුඛ සාකච්ඡාව සිදු කර ඇති අතර, තරගයට පෙර Sky Sports විසින් එහි කෙටි ප්‍රචාරක කොටසක්ද විකාශය කර තිබිණි. කෙසේ වෙතත්, පාකිස්තානය තුළ තරගය විකාශය කරන PTV නාලිකාව මෙම සම්මුඛ සාකච්ඡාව විකාශය කර නොමැත.

මේ සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ Foreign, Commonwealth and Development Office වෙතද පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට PCB කටයුතු කරමින් සිටි බව වාර්තා වේ.

මේ අතර, පසුගිය සති කිහිපය තුළ ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවධානය ඉහළ ගොස් තිබේ. ඔහුට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ඔහුගේ පුතුන් සහ සහෝදරියන් දිගින් දිගටම ඉල්ලීම් කර තිබේ.

පසුගිය සතියේ පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු ඉස්ලාමාබාද්හි Shifa රෝහලට ඇතුළත් කරන ලෙස නියෝග කර තිබුණද, ඔහු PIMS රජයේ රෝහල වෙත රැගෙන ගොස් පරීක්ෂාවකින් අනතුරුව නැවත බන්ධනාගාරයට යවා තිබේ.

ඉම්රාන් ඛාන්ගේ පවුලේ සාමාජිකයන් එය අධිකරණ නියෝගය උල්ලංඝනය කිරීමක් බව පවසමින්, ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා හමුවීමට අවසර ලබාදෙන ලෙසද ඉල්ලා තිබේ.

එමෙන්ම, ඇතර්ටන්ද ඇතුළුව රටවල් කිහිපයක හිටපු ක්‍රිකට් නායකයන් 22 දෙනෙකු පසුගිය සතියේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් වෙත ලිපියක් යොමු කරමින්, ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරය තුළ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා තිබේ.

කෙසේ වෙතත්, අවසානයේ පාකිස්තාන කණ්ඩායම නියමිත පරිදි තරගයට යළි පිවිස තිබේ.
Advertisement
Advertisement
Advertisement