Saturday, October 17, 2026
Breaking

WPL 2027: ශූර RCB කණ්ඩායම ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු නිදහස් කරයි – එලිස් පෙරී නැවත කණ්ඩායමට

WPL 2027: ශූර RCB කණ්ඩායම ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු නිදහස් කරයි – එලිස් පෙරී නැවත කණ්ඩායමට
Advertisement

2026 කාන්තා ප්‍රිමියර් ලීග් ශූරයන් වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු (RCB) කණ්ඩායම, 2027 තරග වාරයට පෙර ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු කණ්ඩායමෙන් නිදහස් කර තිබේ.

ඒ අනුව ග්‍රේස් හැරිස්, ලින්සි ස්මිත්, ඩී. හේමලතා සහ ගෞතමි නායක් මෙවර කණ්ඩායමෙන් ඉවත් කර ඇත.

මේ අතර, 2026 තරග වාරයට පෞද්ගලික හේතු මත සහභාගී නොවූ ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩිකා එලිස් පෙරී, 2027 තරග වාරය සඳහා නැවත RCB කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සූදානම් බව දැනුම් දී තිබේ.

RCB ප්‍රධාන පුහුණුකරු මාලෝලන් රංගරාජන් සඳහන් කළේ පෙරී අගෝස්තු මාසයේදී නැවත RCB වෙනුවෙන් ක්‍රීඩා කිරීමට කැමැත්ත පළ කළ බවයි.

“පෙරී නැවත කණ්ඩායමට එක්වීමත් සමඟ කණ්ඩායමේ සෑම අංශයක්ම තවදුරටත් ශක්තිමත් වෙනවා. ඒ අනුව අපේ කණ්ඩායමේ සංයුතිය සමබර කරගන්නේ කොහොමද සහ වෙන්දේසියේදී සලකා බැලිය හැකි ක්‍රීඩිකාවන් කවුද කියලා අපි අවධානය යොමු කළා,” රංගරාජන් පැවසීය.

RCB කණ්ඩායම ක්‍රීඩිකාවන් 13 දෙනෙකු රඳවාගෙන ඇති අතර, ඒ අතර ඉන්දීය ක්‍රීඩිකාවන් නව දෙනෙකු සහ විදේශීය ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු ඇතුළත් වේ.

- දිල්ලි කණ්ඩායමෙන් ක්‍රීඩිකාවන් හයදෙනෙක් ඉවතට

සිව්වරක් අනුශූරයන් වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අලනා කිං, ලිසෙල් ලී, ස්නේහ් රානා, ටානියා භාටියා, ප්‍රගති සිං සහ එඩ්ලා ශ්‍රුජනා නිදහස් කර තිබේ.

දිල්ලි කණ්ඩායමට වෙන්දේසියට පෙර ක්‍රීඩිකාවන් පස්දෙනෙකු සඳහා ස්ථාන හිස්ව පවතින අතර, එයින් එක් ස්ථානයක් විදේශීය ක්‍රීඩිකාවකට හිමිවිය හැකිය. ඔවුන් සතුව ඉන්දීය රුපියල් කෝටි 1.10ක මුදලක් ඉතිරිව තිබේ.

- යූපී වොරියර්ස්ගෙන් ක්‍රීඩිකාවන් නවදෙනෙක් නිදහස්

2026 තරග වාරයේ ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වූ යූපී වොරියර්ස් කණ්ඩායම ක්‍රීඩිකාවන් නවදෙනෙකු නිදහස් කර තිබේ.

ඒ අතර විදේශීය ක්‍රීඩිකාවන් වන ඩියැන්ඩ්‍රා ඩොටින්, ක්ලෝයි ට්‍රයෝන්, චාලි නොට් සහ ඇමි ජෝන්ස් ද ඇතුළත්ය.

එම කණ්ඩායමට වෙන්දේසියට පෙර හිස් ස්ථාන හතක් පවතින අතර, ඉන්දීය රුපියල් කෝටි 3.65ක විශාලතම මුදල් සංචිතයද ඔවුන් සතුව ඇත.

යූපී වොරියර්ස් ප්‍රධාන පුහුණුකරු අභිෂේක් නායර් ඩොටින් පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ, පසුගිය වසරක කාලය තුළ ඇයගේ පිතිකරණ දස්කම් අපේක්ෂිත මට්ටමේ නොතිබූ බවයි.

- ගුජරාට් කණ්ඩායමෙන් ඩැනී වයිට්-හොජ් ඉවතට

ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම ප්‍රධාන වශයෙන් අවධානයට ලක්වූ ක්‍රීඩිකාවක් වන ඩැනී වයිට්-හොජ් ඇතුළු ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු නිදහස් කර තිබේ.

ඇය පසුගිය තරග වාරයේ බෙත් මූනි සහ සොෆී ඩිවයින් පිටුපස සිටි ආදේශක ආරම්භක පිතිකාරිනියක් ලෙස කටයුතු කළ අතර, ක්‍රීඩා කළේ එක් තරගයකට පමණි.

ගුජරාට් කණ්ඩායමට වෙන්දේසියේදී පිරවීමට ස්ථාන තුනක් ඇති අතර, එයින් එක් ස්ථානයක් විදේශීය ක්‍රීඩිකාවකට හිමිවිය හැකිය. ඔවුන් සතුව ඉන්දීය රුපියල් කෝටි 1.25ක මුදලක් ඉතිරිව තිබේ.

- මුම්බායි කණ්ඩායමෙන් ක්‍රීඩිකාවන් හයදෙනෙක් නිදහස්

දෙවරක් ශූරයන් වූ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමද ඉන්දීය ක්‍රීඩිකාවන් පස්දෙනෙකු සහ එක් විදේශීය ක්‍රීඩිකාවක් ඇතුළුව ක්‍රීඩිකාවන් හයදෙනෙකු නිදහස් කර තිබේ.

ඒ අනුව මිලී ඉලින්ග්වර්ත්, ජී. කමලිනී, ක්‍රාන්ති රෙඩ්ඩි, පූනම් කෙම්නාර්, සයිකා ඉෂාක් සහ ත්‍රිවේණි වසිස්තා කණ්ඩායමෙන් ඉවත් කර ඇත.

මුම්බායි කණ්ඩායමට වෙන්දේසියේදී හිස් ස්ථාන හතක් ඇති අතර, විදේශීය ක්‍රීඩිකාවකට එක් ස්ථානයක් පමණක් ලබාගත හැකිය. ඔවුන් සතුව ඉතිරිව ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 1කි.

- WPL 2027 වෙන්දේසිය ඔක්තෝබර් 28

කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වැනි අදියර 2027 ජනවාරි 14 සිට පෙබරවාරි 7 දක්වා පැවැත්වීමට නියමිතය.

එම තරගාවලියට අදාළ කුඩා ක්‍රීඩිකා වෙන්දේසිය ඔක්තෝබර් 28 වැනිදා කොචිහිදී පැවැත්වීමට නියමිතය.

එක් කණ්ඩායමකට උපරිම ක්‍රීඩිකාවන් 18 දෙනෙකු රඳවාගත හැකි අතර, ඉන් උපරිම ක්‍රීඩිකාවන් හයදෙනෙකු විදේශීය ක්‍රීඩිකාවන් විය හැකිය.

මෙවර වෙන්දේසි දිනයේදී පිරවීමට නියමිත සමස්ත ස්ථාන සංඛ්‍යාව 27ක් වන අතර, ඉන් උපරිම ස්ථාන හතක් විදේශීය ක්‍රීඩිකාවන් සඳහා වෙන් කළ හැකිය.
Advertisement
Advertisement
Advertisement