Player News
සොනාල් දිනූෂට ICC Men’s Player of the Month සම්මානය
September 17, 2026
09:13 PM
Main Admin
ශ්රී ලංකා ටෙස්ට් පිටියේ නැගී එන පිතිකරුවෙකු වන සොනාල් දිනූෂ, 2026 අගෝස්තු මාසය සඳහා වන ICC Men’s Player of the Month සම්මානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
මෙය සොනාල්ගේ ක්රිකට් දිවියේ පළමු ICC මාසික සම්මානය වීමද විශේෂත්වයක්.
ඉන්දියාවට එරෙහිව ශ්රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරග දෙකේදී දැක්වූ විශිෂ්ට දස්කම් ඔහු මෙම සම්මානය දිනා ගැනීමට ප්රධාන හේතුවක් වී තිබෙනවා.
එම තරගාවලියේ ඉනිම් 4කදී ලකුණු 420ක් රැස් කළ සොනාල්, ශතක 3ක් සහ අර්ධ ශතකයක් වාර්තා කරමින් ශ්රී ලංකාවේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණා.
ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඉන්දියාව ලකුණු 165ක ජයක් වාර්තා කළද, සොනාල් ශ්රී ලංකාව වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක නිරත වෙමින් පළමු ඉනිමේදී ලකුණු 100ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 84ක් රැස් කළා.
දෙවැනි ටෙස්ට් තරගයේදීද සිය දස්කම් අඛණ්ඩව පවත්වාගත් ඔහු, පළමු ඉනිමේදී ලකුණු 103ක් සහ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 133ක් ලබාගත්තා.
එම නොදැවී ලකුණු 133ක ඉනිම ශ්රී ලංකාවට තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට විශාල දායකත්වයක් ලබාදුන් අතර, එම තරගයේ තරගයේ වීරයා සම්මානයද සොනාල්ට හිමිවුණා.
සම්මානය හිමිවීමෙන් අනතුරුව අදහස් දක්වමින් සොනාල් පවසා ඇත්තේ, සිය ක්රිකට් දිවියේ මෙතරම් මුල් අවධියකදීම ජාත්යන්තර මට්ටමේ මෙවැනි ඇගයීමක් ලැබීම තමන්ට විශේෂ අවස්ථාවක් බවයි.
ඉන්දියාවට එරෙහි තරගාවලිය තමන්ගේ ක්රිකට් දිවියේ සදා මතකයේ රැඳෙන තරගාවලියක් වනු ඇති බවත්, එහිදී ශතක තුනක් රැස් කිරීමට හැකිවීම සිහිනයක් සැබෑ වූවාක් මෙන් දැනුණු බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
ගාල්ලේ සහ කොළඹදී ශ්රී ලාංකික ප්රේක්ෂකයන් ඉදිරියේ එම දස්කම් දැක්වීමට හැකිවීම තමන්ට තවත් විශේෂ අත්දැකීමක් වූ බවද සොනාල් පවසා තිබෙනවා.
තරගාවලියේ සමස්ත ප්රතිඵලය ශ්රී ලංකාව බලාපොරොත්තු වූ ආකාරයට නොවුණත්, දෙවැනි ටෙස්ට් තරගයේදී කණ්ඩායම දැක්වූ සටන්කාමීත්වය පිළිබඳව තමන් ආඩම්බර වන බවද ඔහු සඳහන් කර තිබෙනවා.
සිය මෙම ජයග්රහණය පිටුපස සිටි දෙමව්පියන්, කණ්ඩායමේ සගයින්, පුහුණුකරුවන් සහ මිතුරන් ඇතුළු සහයෝගය ලබාදුන් සියලු දෙනාට සොනාල් සිය ස්තූතිය පළ කර තිබෙනවා.
“මෙය මගේ තනි ජයග්රහණයක් නොවෙයි. මගේ ගමනට සහයෝගය දැක්වූ සියලු දෙනාටම මේ ජයග්රහණය අයිතියි.” යනුවෙන් සොනාල් සඳහන් කර තිබෙනවා.
ශ්රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග කිහිපයකට පමණක් ක්රීඩා කර ඇති සොනාල් දිනූෂ, කෙටි කාලයක් තුළදී ජාත්යන්තර ටෙස්ට් පිටියේ කැපී පෙනෙන පිතිකරුවෙකු ලෙස සිය නම ඉදිරියට ගෙන ඒමට සමත්ව සිටිනවා.