Monday, August 31, 2026

ලෝක කුසලාන ශූරතාව දිනා මාස කිහිපයකින් නායකත්වය අහිමි වූ සූර්යකුමාර්ගේ හෙළිදරව්ව

ලෝක කුසලාන ශූරතාව දිනා මාස කිහිපයකින් නායකත්වය අහිමි වූ සූර්යකුමාර්ගේ හෙළිදරව්ව
Advertisement
ඉන්දීය T20 කණ්ඩායමට 2028 T20 ලෝක කුසලානය සහ ඔලිම්පික් තරගාවලිය සඳහා නායකත්වය දීමට සූදානම් වෙමින් සිටියදී තමන් කණ්ඩායමෙන් මෙන්ම නායකත්වයෙන්ද ඉවත් කර ඇති බව දැනගත් විට දැඩි කම්පනයකට පත්වූ බව සූර්යකුමාර් යාදව් පවසයි.

ආකාශ් චොප්රාගේ YouTube වැඩසටහනකට එක්වෙමින් 35 හැවිරිදි සූර්යකුමාර් සඳහන් කළේ, තම නම සංචිතයේ නොමැති බව දුටු අවස්ථාවේ තමන් සිනාසුණු බවයි.

2026 මාර්තු මාසයේදී නවසීලන්තය පරාජය කරමින් ඉන්දියාවට T20 ලෝක කුසලාන ශූරතාව දිනාදීමට නායකත්වය ලබාදුන් සූර්යකුමාර්, ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් තරග 50කදී නායකත්වය දී ඉන් තරග 42ක් ජයග්‍රහණය කර තිබේ.

කෙසේ වෙතත්, එම ලෝක කුසලාන අවසන් තරගය ඔහු ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කළ අවසන් තරගය බවට පත්ව ඇති අතර, තේරීම්කරුවන් විසින් ශ්‍රේයාස් අයියර් නව ස්ථිර T20I නායකයා ලෙස පත්කර තිබේ.

සූර්යකුමාර් පැවසුවේ නව නායකයා ලෙස තෝරාගෙන ඇති අයියර් සමඟ තමන් බොහෝ ක්‍රිකට් ක්‍රීඩා කර ඇති බවත්, ඔහු දක්ෂ ක්‍රීඩකයෙකු මෙන්ම හොඳ නායකයෙකු සහ හොඳ මනුෂ්‍යයෙකු බවත්ය.

කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වූ බව ඔහු පිළිගත්තේය. වසර දෙකක් පුරා තරගාවලි පරාජය නොවී, ආසියානු කුසලානය සහ T20 ලෝක කුසලානය ජයගත් කණ්ඩායමක් වෙනස් කිරීමට හේතුව කුමක්දැයි තමන් සිතූ බවද ඔහු සඳහන් කළේය.

2026 T20 ලෝක කුසලානයේදී සහ ඉන් අනතුරුව පැවැති IPL තරගාවලියේදී සූර්යකුමාර්ගේ පිතිකරණ දස්කම් අපේක්ෂිත මට්ටමට නොපැමිණීම ඔහු ඉවත් කිරීමට බලපෑ බව වාර්තා වේ.

තේරීම්කරුවන් කණ්ඩායම නම් කිරීමට දින දෙක තුනකට පෙර තමන් අමතා, “දැන් ඉදිරියට යාමට කාලය පැමිණ ඇති බව” පැවසූ බවද සූර්යකුමාර් හෙළි කළේය.

එම තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ නොකළ බවත්, කණ්ඩායමේ යහපත වෙනුවෙන් තේරීම්කරුවන් එම තීරණය ගන්නට ඇති බව තමන් පිළිගන්නා බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත්, නැවතත් ඉන්දීය කණ්ඩායමට පැමිණීමේ බලාපොරොත්තුව තවමත් අත්හැර නොමැති බව සූර්යකුමාර් අවධාරණය කළේය.

“මම සූදානම්. මම තවමත් ක්‍රීඩා කරනවා, ඉදිරියටත් ක්‍රීඩා කරනවා. කාලය සුදුසුයි කියලා ඔබට හැඟුණු දවසක මාව නැවත කැඳවන්න.”
Advertisement
Advertisement
Advertisement