කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියේදී Barbados Tridents කණ්ඩායම කඩුලු 7කින් පරාජය කිරීමට Trinbago Knight Riders කණ්ඩායම සමත් විය.
Queen's Park Ovalහි පැවැති තරගයේදී පළමුව පන්දුවට පහරදුන් Barbados Tridents කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 127ක් පමණි.
Trinbago Knight Riders වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සුනිල් නරේන් පන්දුවාර 4කදී ලකුණු 14කට කඩුලු 2ක් දවාගත් අතර, Kieron Pollard ද ලකුණු 19කට කඩුලු 2ක් ලබාගත්තේය.
Tridents පිතිකරුවන්ට TKR දඟපන්දු බලඇණිය හමුවේ ලකුණු රැස් කිරීම දැඩි අභියෝගයක් වූ අතර, TKR පන්දු යවන්නන් යැවූ පන්දුවාර 20න් 15ක්ම දඟපන්දු යවන්නන් විසින් යැවීම විශේෂත්වයකි.
ලකුණු 128ක පහසු ඉලක්කයක් හඹා ගිය TKR කණ්ඩායම පන්දුවාර 14.5කදී කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය.
එහිදී නැවතත් ඉනිම ආරම්භ කිරීමට පැමිණි සුනිල් නරේන් පන්දු 33කින් ලකුණු 55ක් රැස් කරමින් විශිෂ්ට පිතිහරඹයක නිරත විය. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 6ක් ඇතුළත් විය.
එය නරේන්ගේ 2024 මැයි මාසයෙන් පසුව ලබාගත් පළමු T20 අර්ධ ශතකය වීමද විශේෂත්වයකි.
නරේන් සහ Colin Munro එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 96ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනඟමින් TKR ජයග්‍රහණයට ශක්තිමත් පදනමක් සකස් කළහ. Munro පන්දු 26කින් ලකුණු 37ක් ලබා ගත්තේය.
මෙම ජයග්‍රහණයත් සමඟ TKR කණ්ඩායම තරග තුනකින් සමන්විත පරාජ මාලාව අවසන් කරමින් වැදගත් ජයක් ලබාගත්තේය.
අනෙක් අතට, Tridents ඉනිමේදී Chris Green පන්දු 17කින් ලකුණු 27ක් සහ Rivaldo Clarke පන්දු 7කින් නොදැවී ලකුණු 15ක් ලබාගත්තද, කණ්ඩායමට තරගකාරී ලකුණු සංඛ්‍යාවක් කරා යාමට එය ප්‍රමාණවත් නොවීය.