හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍යවරයකු සහ ක්‍රිකට් නායකයකු වන ඉම්රාන් ඛාන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජාත්‍යන්තර නායකයන් ගෙන යන වැඩසටහනට ඔස්ට්‍රේලියානු ටෙස්ට් සහ එක්දින නායක පැට් කමින්ස්ද සහාය පළ කර තිබේ.
පසුගිය සතියේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්තය ඇතුළු රටවල හිටපු ජාත්‍යන්තර නායකයන් 22 දෙනෙකු පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් වෙත ලිපියක් යොමු කරමින්, බන්ධනාගාරගතව සිටින ඉම්රාන් ඛාන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා තිබිණි.
එම ලිපිය පෙබරවාරි මාසයේ හිටපු නායකයන් 14 දෙනෙකු විසින් යොමු කළ ඉල්ලීමක දිගුවක් වූ අතර, එම ලිපියට පාකිස්තාන රජයෙන් පිළිතුරක් ලැබී නොතිබූ බවද සඳහන් වේ.
මේ අතර, හිටපු ඔස්ට්‍රේලියානු නායක ග්‍රෙග් චැපල් ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පළ කළ අදහස් ඇතුළත් වීඩියෝවක් උපුටා දක්වමින් කමින්ස් X සමාජ මාධ්‍ය ඔස්සේ සිය සහාය පළ කර ඇත.
“ග්‍රෙග් චැපල් සහ අනෙකුත් හිටපු ජාත්‍යන්තර නායකයන්ට මගේ සහාය එක් කරනවා. අධිකරණය නියෝග කළ වෛද්‍ය පරීක්ෂණයට ඉඩ ලබාදෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. පවුලේ සාමාජිකයන්ට ඔහුව හමුවීමටද ඉඩ ලබාදිය යුතුයි. ඉම්රාන් ඛාන්ට ඕනෑම පුද්ගලයකුට හිමිවිය යුතු ගෞරවයෙන් සලකනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් කමින්ස් සඳහන් කර තිබේ.
2023 අගෝස්තු මාසයේදී දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වීමෙන් පසු ඉම්රාන් ඛාන් රාවල්පිණ්ඩිහි බන්ධනාගාරගතව සිටියි. පසුගිය සති කිහිපය තුළ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමුව ඇති අතර, ඔහුගේ පුතුන් සහ පවුලේ සාමාජිකයන් ඔහුට සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබේ.
පසුගිය සතියේ පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද්හි Shifa රෝහලට ඇතුළත් කරන ලෙස නියෝග කළද, ඔහු PIMS රජයේ රෝහල වෙත රැගෙන ගොස් පරීක්ෂාවකින් අනතුරුව නැවත බන්ධනාගාරයට යවා තිබිණි.
ඉම්රාන් ඛාන්ගේ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් සහාය පළ කළ පළමු ක්‍රියාකාරී ජාත්‍යන්තර ක්‍රිකට් නායකයා බවට පැට් කමින්ස් පත්වීමද විශේෂත්වයකි.
මේ අතර, ලෝඩ්ස් ටෙස්ට් තරගයේ පළමු දිනයේ දිවා ආහාර විවේකය අතරතුර ඉම්රාන් ඛාන්ගේ පුතුන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් Sky Sports ඔස්සේ විකාශය කිරීම සම්බන්ධයෙන් PCB විසින් එම නාලිකාවට නිල පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත්, පාකිස්තාන රජය ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරය තුළ අයහපත් ලෙස සැලකීම හෝ ඔහුට පවුලේ සාමාජිකයන් සහ නීතිඥයන් හමුවීම වළක්වා ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. රජය පවසන්නේ 2023 අගෝස්තු මාසයේ සිට ඔහුට පවුලේ සාමාජිකයන්, නීතිඥයන් සහ වෛද්‍යවරුන් විසින් 900කට අධික වාර ගණනක් සංචාරය කර ඇති බවයි.