Monday, August 31, 2026

සයිම් අයුබ්ගේ ශතකයෙන් Jamaica Kingsmenට ලකුණු 11ක ජයක්

සයිම් අයුබ්ගේ ශතකයෙන් Jamaica Kingsmenට ලකුණු 11ක ජයක්
Advertisement

කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) 2026 තරගාවලියේදී සයිම් අයුබ්ගේ විශිෂ්ට ශතකය හේතුවෙන් Jamaica Kingsmen කණ්ඩායම St Kitts and Nevis Patriots කණ්ඩායම ලකුණු 11කින් පරාජය කිරීමට සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් Kingsmen කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 182ක් රැස් කළ අතර, සයිම් අයුබ් පන්දු 58කින් ලකුණු 102ක් ලබා ගනිමින් ඉනිමට ප්‍රධාන දායකත්වය ලබා දුන්නේය.

අයුබ්ගේ ඉනිමට හතරේ පහර සහ හයේ පහර රැසක් ඇතුළත් වූ අතර, ඔහු CPL 2026 තරගාවලියේ දෙවැනි ශතකය වාර්තා කළ ක්‍රීඩකයා බවටද පත්විය.

ලකුණු 183ක ඉලක්කයක් හඹා ගිය Patriots කණ්ඩායමට ආරම්භයේදී දැඩි පීඩනයකට මුහුණදීමට සිදුවිය. බලපවර්ධන පන්දුවාර 6 අවසන් වන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලබා සිටියේ ලකුණු 42ක් පමණි.

කෙසේ වෙතත්, ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් ලකුණු 55ක් රැස් කරමින් තරගය නැවත Patriots පාර්ශ්වයට ගෙන ඒමට සමත් වූ අතර, ඔහු සහ ජේසන් හෝල්ඩර් අතර ලකුණු 48ක සම්බන්ධතාවක්ද ගොඩනැගිණි.

ෆ්ලෙචර් දැවී යාමෙන් අනතුරුව දසුන් ශානක සහ හෝල්ඩර් එක්ව ලකුණු 38ක් වේගයෙන් රැස් කළහ. හෝල්ඩර් දැවී යන විට Patriotsට ජයග්‍රහණය සඳහා පන්දු 8කදී ලකුණු 33ක් අවශ්‍යව තිබිණි.

එතැන් සිට ශානක වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 18කින් නොදැවී ලකුණු 35ක් රැස් කළද, Patriots කණ්ඩායමට ජයග්‍රහණය කරා යාමට එය ප්‍රමාණවත් නොවීය.

ඔවුන්ගේ ඉනිම අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 171ක් ලබා ගත් අතර, ඒ අනුව Kingsmen ලකුණු 11ක ජයක් වාර්තා කළේය.

Kingsmen වෙනුවෙන් පන්දු යැවීමේදී වැනිඳු හසරංග, නසීම් ෂා සහ මැකෝයි කඩුලු 2 බැගින් දවා ගත්හ.

මෙම ජයග්‍රහණයත් සමඟ Jamaica Kingsmen ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වූ අතර, තරගාවලියේ පහළින්ම සිටින Patriots කණ්ඩායමට මෙය තවත් පරාජයක් බවට පත්විය.
Advertisement
Advertisement
Advertisement