එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ප්‍රවීණ පිතිකරු අසීෆ් ඛාන්ට මාස 15ක තරග තහනමක් පැනවීමට ICCය පියවර ගෙන තිබේ.
36 හැවිරිදි අසීෆ් ඛාන් 2025 සැප්තැම්බර් මාසයේදී සිදුකළ තරගයෙන් බැහැර මත්ද්‍රව්‍ය පරීක්ෂණයකදී තහනම් ද්‍රව්‍යයක් වන “mesterolone” හි metabolite එකක් භාවිත කර ඇති බවට ධනාත්මක ප්‍රතිඵලයක් ලබාගෙන තිබුණි.
ICCය සඳහන් කළේ අසීෆ් ඛාන් තමන්ට එල්ල වූ Anti-Doping Code හි Article 2.1 උල්ලංඝනය පිළිගෙන ඇති බවයි. ඒ අනුව ICC සහ World Anti-Doping Agency (WADA) සමඟ ඇතිකරගත් එකඟතාවක් යටතේ මෙම තහනම ක්‍රියාත්මක කර තිබේ.
මෙම තහනම 2025 සැප්තැම්බර් 8 සිට 2026 දෙසැම්බර් 7 දක්වා ක්‍රියාත්මක වන අතර, ඔහුට 2026 ඔක්තෝබර් 8 සිට කණ්ඩායමක් සමඟ පුහුණුවීමට අවසර හිමිවනු ඇත. කෙසේ වෙතත්, තරග සඳහා නැවත එක්වීමට ඔහුට හැකි වන්නේ 2026 දෙසැම්බර් 8 සිට පමණි.
තවද, 2025 සැප්තැම්බර් 8 සිට දෙසැම්බර් 29 දක්වා අසීෆ් ඛාන් ලබාගත් සියලුම පෞද්ගලික ප්‍රතිඵල අවලංගු කිරීමටද ICCය තීරණය කර ඇත. ඒ සමඟ ඔහුට හිමිවූ පදක්කම්, ලකුණු, ත්‍යාග මුදල් සහ අනෙකුත් ත්‍යාගද අහිමි වේ.
හිටපු පාකිස්තාන U-19 ක්‍රීඩකයෙකු වන අසීෆ් ඛාන් 2022 මාර්තු මාසයේදී UAE ජාතික කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියේය. ඔහු ODI තරග 38ක් සහ T20I තරග 56ක් UAE වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ.
2025 ආසියානු කුසලානයේදී ඉන්දියාව, ඕමානය සහ පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ ඔහුගේ අවසන් T20I තරග තුනද මෙම තහනමට අදාළ කාලසීමාව තුළ පැවති බැවින් එම තරගවල ප්‍රතිඵලද ඔහුගේ වාර්තාවෙන් ඉවත් කිරීමට නියමිතය.