දකුණු අප්‍රිකාවේ හිටපු ටෙස්ට් නායක ඩීන් එල්ගර් 2026 County Championship තරගාවලිය අවසානයේ වෘත්තීය ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
39 හැවිරිදි එල්ගර් වසර 12ක් දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරමින් ටෙස්ට් තරග 86කදී ලකුණු 5,347ක් රැස් කර ඇති අතර ශතක 14ක්ද වාර්තා කර ඇත. ඔහුගේ ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 199කි.
එල්ගර් දකුණු අප්‍රිකාව ටෙස්ට් තරග 18කදී නායකත්වය ද ලබා දුන් අතර, 2024 ජනවාරි මාසයේ ඉන්දියාවට එරෙහි කේප්ටවුන් ටෙස්ට් තරගය ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගය විය.
ජාත්‍යන්තර ටෙස්ට් තරග අවස්ථා සීමා වීමත් සමඟ ඔහු 2024දී එංගලන්තයේ Essex කණ්ඩායම සමඟ එක්විය. එහිදී පසුගිය වසර තුන පුරා සාර්ථකව ක්‍රීඩා කළ එල්ගර් 2026 තරගාවලිය අවසානයේ ක්‍රිකට් දිවිය අවසන් කිරීමට තීරණය කර ඇත.
“මට දැන් සමුගැනීමට සුදුසුම කාලයයි. මට වයස අවුරුදු 39ක්. මගේ පවුල සමඟ වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍යයි,” එල්ගර් පැවසීය.
වසර 21ක වෘත්තීය ක්‍රිකට් දිවිය තුළ ඔහු තරග 500කට වැඩි ප්‍රමාණයකට ක්‍රීඩා කර ඇති අතර, 2022දී එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් පිටියේදී දකුණු අප්‍රිකාව ලැබූ ඉනිමක ජයග්‍රහණය තම ක්‍රිකට් දිවියේ විශේෂතම අවස්ථාවක් ලෙස එල්ගර් සඳහන් කළේය.
Essex ක්‍රිකට් අධ්‍යක්ෂ Chris Silverwood ද එල්ගර්ගේ දීර්ඝ ක්‍රිකට් දිවිය, අධිෂ්ඨානය සහ කණ්ඩායම වෙනුවෙන් කළ කැපවීම අගය කරමින් ඔහුට සාර්ථක විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කර තිබේ.