Tuesday, September 01, 2026

දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව අසීරු අඩියක

දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව අසීරු අඩියක
Advertisement
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට ඉන්දියාව තරගයේ සම්පූර්ණ පාලනය සියතට ගෙන තිබේ.

ඉන්දියාව කඩුලු 9කට ලකුණු 503ක් ලබා ඉනිම අත්හිටුවූ අතර, ශ්‍රී ලංකාව දෙවැනි දිනය අවසානයේ කඩුලු 2කට ලකුණු 8ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ලකුණු 495ක් පසුපසින් සිටී.

ඉන්දියාව වෙනුවෙන් ධෘව් ජුරෙල් පන්දු 177කදී ලකුණු 115ක් ලබාගනිමින් විශිෂ්ට ශතකයක් වාර්තා කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත් විය.

ඩෙව්ඩට් පඩික්කල්ද ලකුණු 117ක් රැස්කරමින් ඉන්දියානු ඉනිම ගොඩනැගීමට විශාල දායකත්වයක් ලබාදුන්නේය. රිෂාබ් පන්ට් පන්දු 89කදී ලකුණු 63ක් ලබාගනිමින් ජුරෙල් සමඟ ලකුණු 112ක සබඳතාවක් ගොඩනැගීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවාගත් අතර, ඔහුට සිය පළමු ටෙස්ට් කඩුලු පහේ දස්කම සම්පූර්ණ කිරීමට නොහැකි විය.

ඉන්දියාවේ දැවැන්ත ලකුණු සංඛ්‍යාවෙන් අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භයේදීම දැඩි පීඩනයකට මුහුණදීමට සිදුවිය. ප්‍රසිද් ක්‍රිෂ්ණා සහ මානව් සුතාර් එක් කඩුල්ල බැගින් දවාගනිමින් ශ්‍රී ලංකාව ලකුණු 8කට කඩුලු 2ක් බවට පත් කළහ.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් දෙවැනි දිනයේ ක්‍රීඩාව නියමිත වේලාවට පෙර නතර කිරීමට සිදුවිය.

ඉන්දියාව – 503/9d
ශ්‍රී ලංකාව – 8/2
ශ්‍රී ලංකාව ලකුණු 495ක් පසුපසින්
Advertisement
Advertisement
Advertisement