වේග පන්දු යවන නවීන් උල් හක් වසර දෙකකට ආසන්න කාලයකට පසු ඇෆ්ගනිස්තාන ජාතික T20 කණ්ඩායමට යළි කැඳවා තිබේ.
ඉන්දියාව සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත T20 තරගාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට නවීන් ඇතුළත් කර ඇත.
නවීන් අවසන් වරට ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කර තිබුණේ 2024 දෙසැම්බර් මාසයේදීය. දකුණු උරහිසේ ඇති වූ ආතති අස්ථි බිඳීමක් හේතුවෙන් ඔහු මාස අටකට වැඩි කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටියේය.
මේ අතර, නව නායක ඊබ්‍රාහිම් සද්‍රාන්ගේ නායකත්වය යටතේ ඇෆ්ගනිස්තානය පළමු වරට T20 තරගාවලියකට එක්වීමට නියමිතය. හිටපු නායක රෂීඩ් ඛාන්ද කණ්ඩායමට ඇතුළත්ව සිටී.
ජ්‍යෙෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබීද යළි සංචිතයට එක්ව ඇති අතර, නවක කඩුලු රකින පිතිකරු නූර් උල් රහ්මාන්ටද අවස්ථාව හිමිව තිබේ.
ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර T20 තරග තුන සැප්තැම්බර් 13, 15 සහ 17 යන දිනවල නවදිල්ලියේ අරුන් ජේට්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.