Thursday, July 16, 2026

LA28 ඔලිම්පික් කාන්තා ක්‍රිකට් තරඟාවලියට කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබයි.

LA28 ඔලිම්පික් කාන්තා ක්‍රිකට් තරඟාවලියට කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබයි.
Advertisement
2026 කාන්තා පන්දුවාර 20 ලෝක කුසලාන තරඟාවලියේ දස්කම් මත 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරඟාවලිය සඳහා කණ්ඩායම් හතරක් සෘජුවම සුදුසුකම් ලබාගෙන තිබේ.

ඒ අනුව ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ මහා බ්‍රිතාන්‍යය (එංගලන්තයේ සුදුසුකම් මත) ඔලිම්පික් වරම් හිමිකර ගෙන ඇත. එම කණ්ඩායම් තම තමන්ගේ මහාද්වීප නියෝජනය කරමින් කාන්තා T20 ලෝක කුසලානයේ ඉහළම සුදුසුකම් ලැබූ කණ්ඩායම් ලෙස තේරී පත්විය.

කාන්තා ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට, රටවල් කිහිපයක එකමුතුවක් ලෙස තරඟ කරන කණ්ඩායමක් වීම හේතුවෙන් ඔලිම්පික් තරඟාවලියට සෘජුව සහභාගී විය නොහැකිය. කෙසේ වෙතත්, 2027දී පැවැත්වෙන ICC ඔලිම්පික් සුදුසුකම් තරඟාවලිය හරහා ඔවුන්ට තවමත් අවස්ථාවක් හිමිව ඇත.

මේ අතර, පිරිමි ඔලිම්පික් ක්‍රිකට් තරඟාවලිය සඳහා සුදුසුකම් තීරණය කරනු ලබන්නේ 2026 දෙසැම්බර් 31 වනදා ICC T20 ශ්‍රේණිගත කිරීම් අනුවය. අප්‍රිකාව, ආසියාව, යුරෝපය සහ ඕෂනියාව නියෝජනය කරන ඉහළම කණ්ඩායම් හතර සෘජුවම සුදුසුකම් ලබනු ඇත.

සත්කාරක රට වන ඇමරිකා එක්සත් ජනපදයට පිරිමි හා කාන්තා තරඟාවලි දෙකටම සුදුසුකම් ලැබීමේ අවස්ථාව තිබුණද, ඒ සඳහා සුදුසුකම් කාලය තුළ ICC T20 ශ්‍රේණිගත කිරීම්වල පළමු 15 අතරට පැමිණිය යුතුය. දැනට ඇමරිකානු පිරිමි කණ්ඩායම 13 වැනි ස්ථානයේ පසුවන අතර, කාන්තා කණ්ඩායම 20 වැනි ස්ථානයේ සිටී.

සෑම තරඟාවලියකම අවසන් හයවැනි ස්ථානය කණ්ඩායම් අටක් සහභාගී වන ICC සුදුසුකම් තරඟාවලියකින් තීරණය කෙරෙනු ඇත.

2028 ඔලිම්පික් ක්‍රිකට් තරඟාවලියේදී සුදුසුකම් ලබන කණ්ඩායම් හය කාණ්ඩ දෙකකට බෙදා තරඟ වදින අතර, අවසානයේ ඉහළම කණ්ඩායම් දෙක රන් පදක්කම සඳහාත්, තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් ලෝකඩ පදක්කම සඳහාත් තරඟ වදිනු ඇත.

සමස්ත තරඟ 28ම ලොස් ඇන්ජලීස්හි Pomona නගරයේ විශේෂයෙන් ඉදිකෙරෙන ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
Advertisement
Advertisement
Advertisement