බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ පළමු ටෙස්ට් තරඟයෙන් ඉනිමකින් සහ ලකුණු 217ක දැවැන්ත පරාජයක් ලැබීමත් සමඟ ශ්‍රී ලංකාව නවතම ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය (WTC) ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකක් පහළට ඇද වැටී තිබේ.
ඒ අනුව, මෙතෙක් සිව්වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මේ වන විට හයවැනි ස්ථානයට පත්ව ඇති අතර, නායක ධනංජය ද සිල්වාගේ කණ්ඩායම ප්‍රතිශත ලකුණු 44.44ක් රැස්කරගෙන සිටී.
ඇන්ටිගුවාවේ North Sound හි Sir Vivian Richards ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරඟයේදී ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 308ක් රැස් කළද, ඊට පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව්වෝ කඩුලු 9ක් දැවී ලකුණු 629ක් ලබාගත්හ.
ඉන් අනතුරුව දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා පිල ලකුණු 101කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වූ අතර, ඒ අනුව ඉනිමකින් සහ ලකුණු 217ක විශිෂ්ට ජයක් වාර්තා කළහ.
මෙම පරාජයත් සමඟ බංග්ලාදේශය සහ ඉන්දියාව පිළිවෙළින් සිව්වැනි සහ පස්වැනි ස්ථාන දක්වා ඉදිරියට පැමිණ ඇති අතර, ශ්‍රී ලංකාව හයවැනි ස්ථානයට පත්ව ඇත.
මේ අතර, තරඟ 8කදී ජයග්‍රහණ 7ක් සහ එක් පරාජයක් වාර්තා කර ඇති ඕස්ට්‍රේලියාව WTC ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන අතර, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැඳී සිටී.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් තරඟය ජූලි 3 වැනිදා ආරම්භ වීමට නියමිතය.