CPL 2026 තරගාවලියේදී සිය අපරාජිත ගමන තවදුරටත් ඉදිරියට ගෙන යමින් Guyana Amazon Warriors කණ්ඩායම Jamaica Kingsmen කණ්ඩායම කඩුලු 8කින් පරාජය කළේය.
පළමුව පන්දුවට පහරදුන් Jamaica Kingsmen කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කළ අතර, Amazon Warriors කණ්ඩායම පන්දුවාර 17.2කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 160ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කළේය.
මෙය CPL 2026 තරගාවලියේ Amazon Warriors කණ්ඩායම සහභාගී වූ පස්වැනි තරගය වූ අතර, එම තරග පහම ජය ගැනීමට ඔවුන් සමත්ව සිටීම විශේෂත්වයකි.
Providenceහිදී මෙම තරගාවලියේ සිය පළමු ගෘහස්ථ තරගයට සහභාගී වූ Amazon Warriors කණ්ඩායමට තරගයේ වැඩි කාලයක් සම්පූර්ණ පාලනය හිමිව තිබුණි.
Kingsmen ඉනිම ආරම්භයේදීම Dwaine Pretorius විශිෂ්ට දස්කම් දැක්වීය. පළමු පන්දුවාරයේ අවසන් පන්දුවෙන් Kirk McKenzie කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් Pretorius, පස්වැනි පන්දුවාරයේදී Keacy Carty ද එම ආකාරයෙන්ම දවාගත්තේය.
ඒ අනුව powerplay පන්දුවාර 6 අවසානයේ Kingsmen කණ්ඩායම කඩුලු 2ක් දැවී ලබා සිටියේ ලකුණු 46ක් පමණි.
ඉන් අනතුරුවද Kingsmen කණ්ඩායමට ඉනිම ගොඩනගා ගැනීමට අපහසු වූ අතර Khary Pierre විසින් Usman Khan සහ Maaz Sadaqat දවාගත්තේය. Keemo Paul දුවද්දී දැවී ගිය අතර, Rovman Powell Mohammad Nabiගේ පන්දුවකට දැවී ගියේය.
ඒ අනුව 14 වැනි පන්දුවාරයේදී Kingsmen කණ්ඩායම ලකුණු 87කට කඩුලු 6ක් අහිමි කරගෙන දැඩි අසීරුතාවයකට පත්විය.
කෙසේ වෙතත් Hassan Khan අවසන් පන්දුවාර කිහිපයේදී ප්‍රවේගවත් පිතිහරඹයක නිරත වෙමින් Kingsmen ඉනිමට නව ජීවයක් ලබා දුන්නේය.
කඩුලු හය වැටෙන විට පන්දු 6කට ලකුණු 3ක් පමණක් ලබා සිටි Hassan, අවසන් අදියරේදී වේගවත් ලකුණු රැස්කිරීමකට යොමුවිය. 19 වැනි පන්දුවාරයේදී Imran Tahirට එරෙහිව පිට පිට හයේ පහර තුනක් එල්ල කළ ඔහු, අවසන් පන්දුවාරයේදීද හතරේ පහර දෙකක් සහ හයේ පහරක් එල්ල කළේය.
ඒ අනුව Hassan Khan පන්දු 29කින් නොදැවී ලකුණු 62ක් රැස් කළ අතර, Maaz Sadaqat ලකුණු 35ක් ලබා ගනිමින් Kingsmen ලකුණු 159ක් දක්වා රැගෙන ගියේය.
ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය Amazon Warriors කණ්ඩායම ආරම්භයේ සිටම ප්‍රබල පිතිහරඹයක නිරත විය.
Rahmanullah Gurbaz සහ 21 හැවිරිදි Guyana ක්‍රීඩක Mavendra Dindyal පළමු පන්දුවාර කිහිපයේදී වේගවත් ලකුණු රැස් කළ අතර, powerplay අවසානයේ Amazon Warriors ලකුණු 65ක් ලබා සිටියේය.
Dindyal පන්දු 17කින් ලකුණු 33ක් රැස් කළේ හයේ පහර 4ක් සමඟිනි.
මේ අතර Gurbaz ලකුණු 28 සීමාව පසුකර යාමත් සමඟ T20 ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 7,000ක් සම්පූර්ණ කළ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්විය.
ඔහු පන්දු 35කින් ලකුණු 54ක් රැස් කළ අතර, Gurbaz දැවී යන විට Amazon Warriors කණ්ඩායම 13 වැනි පන්දුවාරයේදී ලකුණු 114ක් ලබා සිටියේය.
ඉන් අනතුරුව Shai Hope සහ Shimron Hetmyer කිසිදු අපහසුතාවයකින් තොරව ඉලක්කය සම්පූර්ණ කළහ.
Hope පන්දු 35කින් නොදැවී ලකුණු 39ක් ලබාගත් අතර, Hetmyer පන්දු 17කින් නොදැවී ලකුණු 30ක් රැස් කළේය. Hetmyer 18 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් තරගය අවසන් කළේය.
මෙම ජයත් සමඟ Amazon Warriors කණ්ඩායම CPL ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින Antigua and Barbuda Falconsට එක් ලකුණක් පමණක් පිටුපසින් දෙවැනි ස්ථානයේ පසුවෙයි. කෙසේ වෙතත් Falcons කණ්ඩායම Amazon Warriorsට වඩා තරග හතරක් වැඩිපුර ක්‍රීඩා කර තිබේ.
Jamaica Kingsmen කණ්ඩායමද මේ වන විට ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවෙයි.