එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමේ පුහුණුකරු ලෙස හදිසියේ පත් වූ Mike Hesson, එංගලන්ත සංචාරය අතරතුර පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) සිදු කළ දැවැන්ත සංචිත වෙනස්කම් තමන්ටද තරමක් අනපේක්ෂිත වූ බව පවසා තිබේ.
නවසීලන්ත ජාතික Hesson, මේ වන විට පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙස පමණක් කටයුතු කරන බවද තහවුරු කළේය.
බර්මින්හැම්හි පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, පසුගිය දින කිහිපය කණ්ඩායමට අභියෝගාත්මක වූ නමුත්, සිදුවූ වෙනස්කම් පිළිබඳ අවධානය යොමු කරනවා වෙනුවට එජ්බැස්ටන්හි පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය සඳහා කණ්ඩායම සූදානම් කිරීම තම ප්‍රධාන අවධානය බවයි.
Hesson සඳහන් කළේ තමන් ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සූදානම් වෙමින් සිටියදී පාකිස්තානයේ සිදුවූ තත්ත්වය පිළිබඳ දැනගෙන, ඉතා කෙටි කාලයක් තුළ එංගලන්තයට පැමිණීමට සිදුවූ බවයි.
මෙම අවසන් මොහොතේ සිදු වූ පත්කිරීම හේතුවෙන් කණ්ඩායම සම්බන්ධයෙන් තීරණ රැසක් තවදුරටත් සකස් වෙමින් පවතින බවද ඔහු පැවසීය.
පාකිස්තාන සංචිතයෙන් ඉවත් කළ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ගත් තීරණවලට තමන් සම්බන්ධ නොවූ බව Hesson පැහැදිලි කළේය. එම ක්‍රීඩකයන් අතර ඔහු පාකිස්තාන T20I කණ්ඩායමේ නායකයා ලෙස සමීප සබඳතාවක් පවත්වාගෙන ගිය Salman Ali Agha ද සිටීම විශේෂත්වයකි.
“ඔවුන් ඉවත් කළේ ඇයිද යන්න පිළිබඳ විස්තර මම දන්නේ නැහැ. ඔබලා කියවා ඇති දේම මමත් කියවා තිබෙනවා. Salman Ali Agha පසුගිය වසර කිහිපය තුළ අපේ හොඳම ක්‍රීඩකයන්ගෙන් කෙනෙක්. ඔහුට ටෙස්ට් තරග තුනකදී පමණක් දුර්වල දස්කම් තිබුණත්, ඔහු ඉතා දක්ෂ ක්‍රීඩකයෙක්,” යනුවෙන් Hesson පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පාකිස්තාන ටෙස්ට් කණ්ඩායම තෝරා ගැනීමේ ක්‍රියාවලියට තමන් කිසිදු සම්බන්ධයක් නොතිබූ බවයි. තම වගකීම මෙතෙක් සුදු පන්දු කණ්ඩායමට පමණක් සීමා වී තිබූ බවද ඔහු පැවසීය.
මේ අතර සංචාරයේදී පාකිස්තානය වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ දඟ පන්දු යවන ක්‍රීඩක Ali Usman සංචිතයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන්ද Hesson පැහැදිලි කිරීමක් ලබා දුන්නේය.
උණුසුම් තරගයේදී කඩුලු 5ක් දවාගත් Usman, පසුව Leedsහිදී පැවැති ටෙස්ට් තරගයේදීද කඩුලු 5ක් ලබා ගනිමින් 1972 වසරෙන් පසුව එංගලන්තයේදී එවැනි දස්කමක් කළ පළමු සංචාරක දඟ පන්දු යවන්නා බවට පත්විය.
කෙසේ වෙතත්, Hesson පෙන්වා දුන්නේ එංගලන්තයේ මේ කාලයේ finger-spinner කෙනෙකුට කණ්ඩායමේ ස්ථානයක් ලබාදීම අපහසු බවයි.
ඔහු සඳහන් කළේ පන්දුවෙන් පමණක් දායක විය හැකි සහ පිතිකරණයෙන් දායකත්වයක් ලබාදිය නොහැකි දඟ පන්දු යවන්නෙකු තරගයකදී පන්දු ඕවර දෙකක් පමණක් යැවීමට භාවිත කිරීම ප්‍රායෝගික නොවන බවයි.
මේ අතර පාකිස්තානය මේ වන විට එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ 2-0ක් ලෙස පරාජයට පත්ව සිටින අතර, තෙවැනි තරගයද පරාජයට පත්වුවහොත් තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ පරාජයකට ලක්වනු ඇත.
එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා කණ්ඩායම තමන්ට පාලනය කළ හැකි කරුණු කෙරෙහි පමණක් අවධානය යොමු කළ යුතු බව Hesson පැවසීය.
නව ක්‍රීඩකයන් කිහිපදෙනෙකු කණ්ඩායමට එක්වීමෙන් නව ශක්තියක් මෙන්ම පන්දු යැවීමේ අංශයට විවිධත්වයක්ද ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.
කෙසේ වෙතත්, සංචිතයේ සිදු වූ මෙම හදිසි වෙනස්කම් ක්‍රීඩකයන්ට දැඩි බලපෑමක් ඇති කළ බව Hesson පිළිගත්තේය.
“මෙය සියලු දෙනාටම ඉතා අපහසු තත්ත්වයක්. මැද තරගාවලියකදී මෙවැනි දේ සිදුවීම කිසිවෙකුට අවශ්‍ය දෙයක් නොවේ. සිදුවූ දේ ගැන ගැඹුරින් කතා කරනවාට වඩා, ඉදිරියේදී කළ යුතු දේ පිළිබඳ මගේ අවධානය යොමු කරනවා,” යනුවෙන් ඔහු පැවසීය.