Friday, September 11, 2026

ශානකගෙන් වාර්තාගත ශතකයක් –Patriots කණ්ඩායමට ලකුණු 137ක දැවැන්ත ජයක්

ශානකගෙන් වාර්තාගත ශතකයක් –Patriots කණ්ඩායමට ලකුණු 137ක දැවැන්ත ජයක්
Advertisement
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකගේ වාර්තාගත ප්‍රහාරාත්මක ශතකය හේතුවෙන් St Kitts and Nevis Patriots කණ්ඩායම Caribbean Premier League (CPL) තරගයකදී St Lucia Kings කණ්ඩායම ලකුණු 137කින් දැවැන්ත ලෙස පරාජය කළේය.

පළමුව පන්දුවට පහරදුන් Patriots කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 235ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Kings කණ්ඩායම පන්දුවාර 13.5කදී ලකුණු 98කට සීමා විය.

Patriots ඉනිමේ විශිෂ්ටතම පිතිකරුවා වූ දසුන් ශානක පන්දු 43කින් නොදැවී ලකුණු 121ක් රැස් කළේ හයේ පහර 12ක් සහ හතරේ පහර 8ක් සමඟිනි.

විශේෂත්වය වූයේ ශානක ශතකය පන්දු 39කින් සම්පූර්ණ කරමින් CPL ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමයි.

ශානක පිටියට පැමිණියේ Patriots ලකුණු 89කට කඩුලු 2ක් ලෙස තිබියදී ඉනිමේ 10 වැනි පන්දුවාරයේදීය. එතැන් සිට වේගවත් ප්‍රහාරයක් දියත් කළ ඔහු පන්දු 24කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය.

Andre Fletcher සමඟ එක්ව වැදගත් සබඳතාවක් ගොඩනැගූ ශානක, පසුව Wanindu Hasaranga සමඟ එක්ව පන්දු 31කදී ලකුණු 93ක වේගවත් සබඳතාවක් ගොඩනැගීය.

ඉනිමේ අවසන් පන්දුවාරයේදී Keon Gastonට එරෙහිව හයේ පහර 4ක් සහ හතරේ පහරක් එල්ල කළ ශානක එම පන්දුවාරයෙන් ලකුණු 28ක් ලබා ගනිමින් Patriots ලකුණු 235ක් දක්වා රැගෙන ගියේය. අවසන් පන්දුවාර පහ තුළ Patriots ලකුණු 93ක් රැස් කිරීමද විශේෂත්වයකි.

Patriots වෙනුවෙන් Andre Fletcher පන්දු 39කින් ලකුණු 64ක් රැස් කළේය.

ලකුණු 236ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය St Lucia Kings කණ්ඩායමට කිසිදු අවස්ථාවක ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට නොහැකි විය.

Kamil Pooran පළමු පන්දුවාරයේදීම ලකුණු නොලබා දැවී ගිය අතර, Wanindu Hasaranga කඩුලු 2ක් දවා ගනිමින් Kings ඉනිම ලකුණු 55කට කඩුලු 4ක් ලෙස අසීරු තත්ත්වයකට පත් කළේය.

Jeremiah Louis ද විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 10කට කඩුලු 5ක් දවා ගත්තේය. එය ඔහුගේ T20 ක්‍රිකට් දිවියේ පළමු කඩුලු පහේ දස්කම වූ අතර, ඔහුගේ 10 වැනි T20 තරගයේදී එය වාර්තා වීම විශේෂත්වයකි.

Kings වෙනුවෙන් Tim Seifert පන්දු 36කින් ලකුණු 50ක් ලබා ගත්තද, අනෙක් පිතිකරුවන්ගෙන් සැලකිය යුතු සහයක් නොලැබීම හේතුවෙන් ඔවුන්ගේ ඉනිම ලකුණු 98කට අවසන් විය.

මෙම ලකුණු 137ක ජයග්‍රහණය Patriots කණ්ඩායමේ තරගාවලි ප්ලේඕෆ් බලාපොරොත්තු තවදුරටත් ශක්තිමත් කළ අතර, ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගයද -0.547 සිට 0.593 දක්වා ඉහළ ගියේය.
Advertisement
Advertisement
Advertisement