Thursday, July 16, 2026

උදාරගේ විශිෂ්ට ඉනිමෙන් ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක – ලාහිරු උදාර ලකුණු 188ක් රැස් කරයි.

උදාරගේ විශිෂ්ට ඉනිමෙන් ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක – ලාහිරු උදාර ලකුණු 188ක් රැස් කරයි.
Advertisement
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ නෝර්ත් සවුන්ඩ්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 338ක් රැස් කරමින් තරගයේ පාලනය තමන් සතු කරගැනීමට සමත් විය.

ලකුණු 25කට කඩුලු 2ක් අහිමිව අසීරු තත්ත්වයක සිටි ශ්‍රී ලංකා ඉනිම නැවත ගොඩනැගුවේ ආරම්භක පිතිකරු ලාහිරු උදාරයි. සිය ටෙස්ට් දිවියේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩා කළ ඔහු පන්දු 248කින් ලකුණු 188ක් රැස් කළ අතර, ද්විත්ව ශතකය ලකුණු 12කින් අහිමි විය.

උදාරට අනගි සහායක් ලබාදුන් කමිඳු මෙන්ඩිස් පන්දු 120කදී ලකුණු 84ක් රැස් කළේය. ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 215ක සබඳතාවක් ගොඩනැගූ අතර, එය කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාවක් වාර්තා කළ ඉහළම ටෙස්ට් කඩුලු සබඳතාව ලෙස ඉතිහාසගත විය.

අනතුරුව නායක ධනංජය ද සිල්වා සමඟ උදාර සිව්වැනි කඩුල්ලට ලකුණු 93ක් එක් කළේ ශ්‍රී ලංකාව ශක්තිමත් ස්ථානයකට රැගෙන යමිනි.

කෙසේ වෙතත් දිනයේ අවසන් පැය භාගයේදී කොදෙව් පන්දු යවන්නෝ නැවත තරගයට පිවිසියහ. වෙහෙසට පත්ව සිටි උදාර ගැඹුරු ෆයින් ලෙග් කලාපයේ උඩපන්දුවක් ලබාදී දැවී ගිය අතර, ධනංජය ද සිල්වාද ලකුණු 33කට ස්ලිප් කලාපයේ උඩපන්දුවක් ලබාදී දැවී ගියේය.

එම කඩුල්ල සමඟ ජේඩන් සීල්ස් සිය ටෙස්ට් දිවියේ කඩුලු 100 සම්පූර්ණ කළ අතර, පන්දු සංඛ්‍යාව අනුව එම සන්ධිස්ථානයට ළඟා වූ දෙවැනි වේගවත්ම කොදෙව් වේගපන්දු යවන්නා ලෙසද වාර්තා අතරට එක්විය.

තරගයේ ආරම්භයේදී ෂමාර් ජෝසප් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් නිශාන් මධුෂ්ක සහ දිනේෂ් චන්දිමාල් ඉක්මනින් ක්‍රීඩාගාරයට හරවා යැවූවත්, ඉන් අනතුරුව උදාරගේ විනයගරුක හා ආක්‍රමණශීලී පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාව තරගයේ වාසිය හිමිකර ගැනීමට සමත් විය.

පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකාව – 338/5

• ලාහිරු උදාර – 188
• කමිඳු මෙන්ඩිස් – 84
• ධනංජය ද සිල්වා – 33
• කුසල් මෙන්ඩිස් – නොදැවී

කොදෙව් පන්දු යවන්නන් අතරින් ෂමාර් ජෝසප් කඩුලු 2ක් දවා ගත්තේය.

Advertisement
Advertisement
Advertisement