Features
කාලය නාස්ති කළොත් ලකුණු 5ක දඩයක් – ICC නව ක්රිකට් නීති හඳුන්වා දෙයි
October 03, 2026
09:19 PM
Main Admin
ජාත්යන්තර ක්රිකට් ක්රීඩාවේ කාලය නාස්ති කිරීම අවම කිරීම ඇතුළු අරමුණු කිහිපයක් යටතේ ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය විසින් නව තරග නීති කිහිපයක් හඳුන්වා දී තිබේ. මෙම නව නීති 2026 ඔක්තෝබර් 1 වැනිදා හෝ ඊට පසුව ආරම්භ වන ජාත්යන්තර තරගාවලි සඳහා බලපැවැත්වෙන අතර, දැනට පැවැත්වෙන තරගාවලි සඳහා පැරණි නීතිම ක්රියාත්මක වේ.
නව නීති අනුව පිරිමි ක්රිකට් තරගයකදී පිතිකරුවෙකු පන්දුවට මුහුණදීමට නියමිත වේලාව තුළ සූදානම් නොවී තරගය ප්රමාද කළහොත් පළමු අවස්ථාවේදී අවවාදයක් ලබාදීමට නියමිතය. දෙවැනි අවස්ථාවේදී අවසන් අවවාදය ලබාදෙන අතර, තෙවැනි සහ ඉන් පසුව සිදුවන සෑම අවස්ථාවකදීම පන්දු රකින කණ්ඩායමට දඬුවම් ලකුණු 5ක් ලබාදීමට නියම කර තිබේ. නැවත නැවත සිදුවන මෙවැනි වැරදි සම්බන්ධයෙන් ක්රිකට් ආචාරධර්ම නීති යටතේද ක්රියාමාර්ග ගත හැකිය.
මෙහිදී අවධානය යොමු කර ඇත්තේ ඊළඟ පන්දුව යැවීමට පන්දු රකින කණ්ඩායම සහ පන්දු යවන්නා සූදානම් වීමට ගතවන කාලය පිළිබඳවය. පන්දු යවන්නා සිය පන්දු යැවීමේ ධාවනය ආරම්භ කරන අවස්ථාව වන විට පිතිකරුවා පන්දුවට මුහුණදීමට සූදානම්ව සිටිය යුතුය.
කෙසේ වෙතත්, පිතිකරුවෙකු දැවී ගිය අවස්ථාවකදී නව පිතිකරුවාට පිටියට පැමිණ තම පළමු පන්දුවට මුහුණදීමට සූදානම් වීම සඳහා මිනිත්තු දෙකක කාලයක් හිමිවන අතර, එම කාලය ඉක්මවා ගියහොත් කාලය ඉක්මවා දැවී යාමේ නීතියට යටත් විය හැකිය.
බහුදින තරගවලදී කාලය නාස්ති කිරීම සම්බන්ධයෙන් ලබාදෙන අවවාද පන්දුවාර 80කට පසුව නැවත ආරම්භ වන අතර, එම ඉනිමේ ඉන් පසුව සම්පූර්ණ වන සෑම පන්දුවාර 80ක කාල පරාසයකදීම එම ගණනය නැවත ආරම්භ වේ.
මේ අතර, කාන්තා ක්රිකට් සඳහා භාවිත කරන පන්දුවල ප්රමාණය සහ බර සම්බන්ධයෙන්ද නව නිශ්චිත සීමා හඳුන්වා දී තිබේ. ඒ අනුව පිරිමි, කාන්තා සහ කනිෂ්ඨ ක්රිකට් සඳහා වෙන වෙනම පන්දුවල ප්රමාණ සහ බර සම්බන්ධ පිරිවිතර තුනක් හඳුන්වා දීමට නියමිතය.
පන්දුව සම්පූර්ණයෙන්ම ස්ථාවර වී ඇති බව තීරණය කිරීමේදී විනිසුරුවන්ට වැඩි නම්යශීලීත්වයක් ලබාදී තිබේ. නව නීතිය අනුව පන්දුව අවසානයේ ස්ථාවර වී ඇතැයි සැලකීමට එය අනිවාර්යයෙන්ම පන්දු යවන්නාගේ හෝ කඩුලු රකින්නාගේ අතේ තිබිය යුතු නොවේ.
දුවද්දී දැවී යාමක් හෝ කඩුල්ල පිටුපසින් දැවී යාමක් සිදුකිරීමේදීද නව පැහැදිලි කිරීමක් එක්කර තිබේ. ඒ අනුව පන්දු රකින්නා හෝ කඩුලු රකින්නා පන්දුව සම්පූර්ණයෙන්ම පාලනය කරගෙන සිටිය යුතුය. පන්දුවට අත තැබීම පමණක් සිදුකරමින් කඩුලු බිඳ දැමීම ප්රමාණවත් නොවන බව ICC පැහැදිලි කර තිබේ.
ටෙස්ට් ක්රිකට් සම්බන්ධයෙන්ද වැදගත් වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ. දිවා කාලයේ පැවැත්වෙන ටෙස්ට් තරගවලදී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක්රීඩාවට සිදුවන බාධා අවම කිරීම සඳහා රෝස පැහැති පන්දුවක් අත්හදා බැලීමක් ලෙස භාවිත කිරීමට අවසර ලබාදී තිබේ. ඒ සඳහා තරගය ආරම්භ කිරීමට පෙර කණ්ඩායම් දෙකේ එකඟතාව අවශ්ය වන අතර, තරගය ආරම්භ වූ පසු පන්දුවේ වර්ණය වෙනස් කිරීමට අවසර නොමැත.
තවද, දවසේ අවසන් පන්දුවාරයේදී කඩුල්ලක් බිඳ වැටුණු පමණින් එම දවසේ ක්රීඩාව අනිවාර්යයෙන්ම අවසන් කිරීමට අවශ්ය නොවන බවටද නව නීතියක් හඳුන්වා දී තිබේ. එම පන්දුවාරය අවසන් වී නොමැති නම් සහ කාලගුණික හා ක්රීඩා තත්ත්වයන් සුදුසු නම් ඉතිරි පන්දු යවා අවසන් කිරීමෙන් පසුව පමණක් දවසේ ක්රීඩාව අවසන් කළ හැකිය.
මෙම වෙනස්කම් හරහා තරග අතරතුර අනවශ්ය කාල නාස්තිය අවම කිරීම, ක්රීඩාවේ ඇතැම් නීති පිළිබඳ පවතින අපැහැදිලි තත්ත්වයන් ඉවත් කිරීම සහ තරග නීති වඩාත් පැහැදිලි කිරීම ICC හි අරමුණ වී තිබේ.