Monday, March 02, 2026

ඉන්දියාව සමඟ තරගයට පාකිස්තානය එකඟ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාරගේ ස්තූතිය.

ඉන්දියාව සමඟ තරගයට පාකිස්තානය එකඟ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාරගේ ස්තූතිය.
Advertisement
ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ස්තූතිය පළ කර තිබේ. ඒ බව ඔහු සිය නිල X ගිණුමේ සටහනක් මගින් ප්‍රකාශ කර ඇත.

ලෝක කුසලාන තරගාවලියේ සම-සත්කාරක රටක් වන ශ්‍රී ලංකාව සඳහා, ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය නියමිත පරිදි පැවැත්වීම සතුටට කරුණක් බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත. එමෙන්ම, මෙම තීරණයට සහාය වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ සියලු පාර්ශවයන්ටද ඔහු ස්තූතිවන්ත වී ඇත.

පෙබරවාරි 15 දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මෙම තරගයට සහභාගී වන ලෙස පාකිස්තාන රජය ජාතික ක්‍රිකට් කණ්ඩායමට දැනුම්දී ඇති අතර, ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කිරීම සහ ගෝලීය ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යාම මෙම තීරණයේ අරමුණ බවද සඳහන් කර ඇත.

මෙම තීරණයට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් පැවැත්වී ඇති අතර, එහිදී තරගයට සහභාගී වන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබේ. එම අවස්ථාවේදී, ශ්‍රී ලංකාව අර්බුදකාරී සමය තුළදී පාකිස්තානය ලබාදුන් සහයෝගයද ජනාධිපතිවරයා කෘතවේදීව සිහිපත් කර ඇත.
Advertisement
Advertisement
Advertisement