Saturday, October 17, 2026
Breaking

“දක්ෂතා තිබුණත් ජයග්‍රහණයට පරිවර්තනය වෙන්නේ නැහැ” – සංගක්කාරගෙන් ශ්‍රී ලංකාවට පණිවිඩයක්

“දක්ෂතා තිබුණත් ජයග්‍රහණයට පරිවර්තනය වෙන්නේ නැහැ” – සංගක්කාරගෙන් ශ්‍රී ලංකාවට පණිවිඩයක්
Advertisement
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මීට වසර ගණනාවකට පෙර පැවති ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව සැලකිය යුතු ලෙස පසුබැස ඇති බව එංගලන්ත හිටපු නායක නසාර් හුසේන් පවසයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කාඩිෆ්හිදී පැවති දෙවැනි විස්සයි20 තරගයෙන් අනතුරුව Sky Sports ඔස්සේ පැවති තරග විශ්ලේෂණයකදී නසාර් හුසේන් මේ බව සඳහන් කළේය. එම සාකච්ඡාවට ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ද එක්ව සිටියේය.

නසාර් හුසේන් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා පිතිකරුවන් හොඳ තණතීරු මත පවා අපරික්ෂාකාරී පහරවල් එල්ල කිරීම සහ පන්දුවේ වේගය වැඩි වන විට ඔවුන්ගේ පිතිකරණය දුර්වල වීම ගැටලුවක් බවයි.

“මම වසර ගණනාවක් තිස්සේ දැකපු ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා වර්තමාන කණ්ඩායම බොහෝ පසුපසින් ඉන්නේ. ඒක විශාල කඩා වැටීමක්.

ඉතා හොඳ තණතීරුවල පවා ඔවුන් අපරික්ෂාකාරී පහරවල් එල්ල කරනවා. පන්දුවේ වේගය වැඩි වුණාම ඔවුන්ගේ පිතිකරණ ශෛලිය තවත් දුර්වල වෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.

එමෙන්ම දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ නිලකුණු පන්දු සංඛ්‍යාව 50ක් වූ අතර, පළමු තරගයේදී එය 60ක් පමණ වූ බවද නසාර් හුසේන් පෙන්වා දුන්නේය. එංගලන්තය හයේ පහර 10ක් එල්ල කළ අතර ශ්‍රී ලංකාවට එල්ල කිරීමට හැකි වූයේ හයේ පහර දෙකක් පමණක් බවද ඔහු සඳහන් කළේය.

“එංගලන්තය වැනි කණ්ඩායමක් සමඟ ක්‍රීඩා කරන විට අවම වශයෙන් ඔවුන්ගේ දක්ෂතා මට්ටමට ආසන්න වීමටවත් ශ්‍රී ලංකාවට හැකි විය යුතුයි. නමුත් මේ වන විට ශ්‍රී ලංකාව එංගලන්තයට වඩා බොහෝ දුරින් ඉන්නවා,” යැයි නසාර් හුසේන් වැඩිදුරටත් පැවසීය.

සංගක්කාරත් නසාර්ගේ අදහස් අනුමත කරයි

නසාර් හුසේන්ගේ අදහස් සමඟ එකඟ වෙමින් කුමාර් සංගක්කාරද පෙන්වා දුන්නේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින වෙනස ක්‍රීඩාංගණය තුළදී පැහැදිලිව දැකගත හැකි වූ බවයි.

“ඔව්, ඒක ඇත්ත. ඔවුන් ක්‍රීඩාංගණයේදී ඒ වෙනස පෙන්නුම් කළා. එංගලන්තය වගේ ප්‍රබල කණ්ඩායමක් සමඟ ක්‍රීඩා කරන විට ඒ වෙනස ඉතා හොඳින් පේනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා එංගලන්ත කණ්ඩායම කැපී පෙනෙන ලෙස ඉදිරියෙන් සිටියා,” සංගක්කාර පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම තීරණ ගැනීමේදී වැඩි ස්ථාවරත්වයක් පෙන්විය යුතු බවද ඔහු සඳහන් කළේය. මෙම තරගයේදී මිෂාර අංක තුන ස්ථානයට යොදා ගැනීම මෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රධාන දඟපන්දු යවන්නෙකු වන මහීෂ් තීක්ෂණ වෙනුවට වෙනත් දඟපන්දු යවන්නෙකු යොදා ගැනීම පිළිබඳවද සංගක්කාර අදහස් පළ කළේය.

“කණ්ඩායමක් විදිහට තමන්ගේ හොඳම ක්‍රීඩකයින් ගැන විශ්වාසය තැබිය යුතුයි. ඔවුන්ගේ හැකියාවන් හඳුනාගෙන, ඔවුන් දියුණු කළ යුතු අංශ පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි,” යනුවෙන් සංගක්කාර පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව, පිතිකරණයේ බලය සහ මූලික ක්‍රිකට් කුසලතා තවදුරටත් දියුණු කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

පන්දු යැවීමේදී නිසි සැලසුම් සහගත ක්‍රමවේදයක් අනුගමනය කිරීම, තරගය නිවැරදිව කියවා ගැනීම සහ පන්දු රකින්නන් නිසි ස්ථානවල යෙදවීමද වැදගත් බව සංගක්කාර සඳහන් කළේය.

“ශ්‍රී ලංකා කණ්ඩායමට තව බොහෝ දේවල් කරන්න තියෙනවා. අපේ ක්‍රීඩකයින්ට කුසලතාව තියෙනවා. නමුත් අපි ඉතා ඉක්මනින් එම හැකියාව ජයග්‍රාහී ප්‍රතිඵල බවට පරිවර්තනය කරගත යුතුයි,” යැයි සංගක්කාර වැඩිදුරටත් පැවසීය.
Advertisement
Advertisement
Advertisement