2026-27 ක්‍රිකට් සමයේදී ඉන්දියානු කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරයක නිරත වී එක්දින තරග 3ක් සහ විස්සයි20 තරග 3ක් ඇතුළුව සුදු පන්දු තරග 6කට ක්‍රීඩා කරනු ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCB) තවදුරටත් විශ්වාසය පළ කර තිබේ. දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩල මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින අතර, BCB වෙත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවද වාර්තා වේ.
BCB සභාපති තමීම් ඉක්බාල් සඳහන් කළේ දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩල අතර සාකච්ඡා සාර්ථකව සිදුවෙමින් පවතින බැවින් මෙම සංචාරය සිදුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.
මෙම සංචාරය මුලින්ම 2025 අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර පසුව 2026 සැප්තැම්බර් දක්වා කල් දමා තිබුණි. කෙසේ වෙතත්, දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩල අතර ඇති වූ මතභේද සහ අනෙකුත් කරුණු හේතුවෙන් එය යළිත් අවිනිශ්චිත තත්ත්වයකට පත්විය.
මීට පෙර BCB සභාපතිවරයා සඳහන් කර තිබුණේ ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තරගාවලිය පිළිබඳ සාකච්ඡා තවදුරටත් සිදුවන බවත්, බංග්ලාදේශය ආරක්ෂිත රටක් බවත්ය.
මේ අතර දෙරටේ ක්‍රිකට් සබඳතා යළි යහපත් අතට හැරෙමින් පවතින බවද පෙනී යයි. තමීම් ඉක්බාල් ඉන්දියාවට සංචාරය කිරීම ඇතුළු පසුගිය කාලයේ සිදුවීම් හේතුවෙන් BCB සහ BCCI අතර සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට අවධානය යොමුව තිබේ.
BCB වෙත ලැබී ඇති යහපත් ප්‍රතිචාර අනුව, ඉන්දියානු කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය ලබන වසරේ මුල් භාගයේදී පැවැත්වීමට ඉඩ ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, මේ වන විටත් නිල තරග කාලසටහනක් ප්‍රකාශයට පත් කර නොමැත.