ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙරටේ ටෙස්ට් තරගාවලිය 2026 අගෝස්තු 15 සිට 27 දක්වා ගාල්ල සහ කොළඹදී පැවැත්වීමට නියමිතයි.
කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගණයේ නව ආලෝක පද්ධතියක් ස්ථාපිත කර තිබුණද, මෙවර තරගාවලියේ දිවා-රාත්‍රී ටෙස්ට් තරගයක් ඇතුළත් නොවන අතර තරග දෙකම පෙරවරු 10.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
2017 වසරෙන් පසු ඉන්දියාව ශ්‍රී ලංකාවේ නිරත වන පළමු ටෙස්ට් සංචාරය මෙය වන අතර, ශ්‍රී ලංකාවේදී අඛණ්ඩව ටෙස්ට් තරග පහක් ජයගෙන සිටින ඔවුන්, 2008 වසරෙන් පසු මෙරටදී ටෙස්ට් තරගාවලියක් පරාජය වී නොමැත.
තරගාවලියට පෙර පුහුණු තරගයක් පැවැත්වීම පිළිබඳ යෝජනා ඉදිරිපත් වී තිබුණද, මේ දක්වා ඒ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කර නැහැ.
මෙය ශ්‍රී ලංකාවේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ලෝක ටෙස්ට් ශූරතා (WTC) තරගාවලියද වනු ඇත.
දකුණු අප්‍රිකාව හමුවේ 2-0ක තරගාවලි පරාජයකින් පසු ඉන්දියාව මේ වන විට WTC ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ පසුවන අතර, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ඉනිමක පරාජයකට ලක්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව හයවැනි ස්ථානය දක්වා පහත වැටී ඇත.
2027 ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ ලකුණු සටහනේ ඉහළම කණ්ඩායම් දෙකයි. මේ වන විට එහි පෙරමුණේ පසුවන්නේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව වන අතර, නවසීලන්තය තෙවැනි ස්ථානයේ සිටී.
අගෝස්තු මාසය ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් පැහැදිලි කාලගුණයක් පැවතියද, විශේෂයෙන් ගාල්ල ප්‍රදේශයට දහවල් කාලයේ වැසි ඇදහැලීමේ අවදානමක් පවතී.
තරග කාලසටහන
•අගෝස්තු 15 - 19 : පළමු ටෙස්ට් තරගය - ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය.
•අගෝස්තු 23 - 27 : දෙවැනි ටෙස්ට් තරගය - SSC ක්‍රීඩාංගණය, කොළඹ.